ව්‍යාජ නිල ඇඳුම් හඳුනාගැනීමේ නිර්ණායක

අංගම් සටනේ භාවිතා වන නිල ඇඳුම් සම්ප්‍රදාය නොදන්නා අයෙක් අංගම් ශාස්ත්‍රය නමින් යමක් උගන්වා අංගම් නිල ඇඳුම් ලෙස භාවිතා කිරීමේදී එම ඇඳුම් ආයිත්තම් සාවද්‍ය ඒවා බවට හඳුනා ගැනීමට පහත නිර්ණායක යොදා ගත හැකි ය.


  1. ඕනෑම අංගම්පොර යයි කියා ගන්නා ශිල්පියෙක් එදා සහ අද භාවිතා කරන ලද ඇඳුම් ආයිත්තම් වල වෙනසක් සිදු වී ඇති නම් එය මූලිකවම සැක පල කළ හැකි නිර්ණායකයකි.
  2. අංගම්පොර යයි කියා ගන්නා සම්මේලන ආදියේ සිටින විවිධ ශිල්පීන් විවිධ ඇඳුම් භාවිතා කිරීම කෙලෙසකවත් සිදු නොවිය හැකි ය. එයට හේතුව වන්නේ අංගම්පොර යනු එක් කලාවක් බැවිනි. උඩරට නැට්ටුවන් දහ දෙනෙකු ගතහොත් ඔවුන් දහ දෙනාම අඳින වෙස් තට්ටුව සමාන වීම එයට දිය හැකි හොඳම උදාහරණයයි.
  3. ගුරුවරයා එක් ඇඳුමක්, ජ්‍යේෂ්ඨයින් තවත් ඇඳුමක් හා ආධුනිකයින් තවත් ඇඳුමක් ආදී ලෙස වෙනස් විය හැකි වුව ද එදා ආධුනිකයන් ඇඳි ඇඳුම අද ආධුනිකයන්ට වෙනස් විය නොහැකි ය. අනෙක් අයටද එය එලෙසම අදාල වේ.
  4. කුන්ෆු, කරාතේ, කලරි ආදී වෙනත් සටන් ක්‍රමයන්ගේ ඇඳුම් ආයිත්තම්වලට අංගම් සටනේ ඇඳුම් ආයිත්තම් සමාන විය නොහැකි ය.
  5. අංගම් ශාස්ත්‍රයේ දී නිශ්චිත ඇඳුමක් නැතැයි පැවසීම හෝ නිශ්චිත ඇඳුමක් භාවිතා නොකිරීම අංගම් චෞරයෙකු බවට හඳුනාගත හැකි සාධකයකි.
  6. අංගම් ලාංචන හෝ වෙනත් සංකේත මුද්‍රණය කොට ඇඳුම් ආයිත්තම් සකසා නොතිබිය යුතු ය.
  7. අංගම් ශාස්ත්‍රය ආශ්‍රිත ලාංචන වැනි යමක් සහිත සර්ට් හෝ ටී සර්ට් වැනි ඇඳුම් භාවිතා කිරීම සැබෑ අංගම් ශිල්පීන් අතින් සිදු නොවේ.
  8. අප දේශීය කලාවන් තුළ පවතින එනම් උඩරට හා පහතරට නැටුම් කලාවන් තුළ භාවිතා වන වර්ණයන් වන කළු, සුදු, රතු වැනි වර්ණයන්ට අමතරව වෙනත් වර්ණයන් භාවිතා වීම සිදු නොවේ.
  9. මසා නිමකළ ඇඳුම් යට කොටසට භාවිතා වීම සිදු නොවේ.
  10. කාන්තා ශිල්පිනියන් හැර පිරිමි ශිල්පියන් උඩුකය නිරුවත් විය යුතු ය. (අංගම් ශාස්ත්‍රයේ විශේෂ පූජා විධිවලදී ශාස්ත්‍රයේ ප්‍රවීණ අය පමණක් උඩුකයට ඇඳුමක් භාවිතා කරයි. නමුත් මෙය විරළ අවස්ථාවකි.)
  11. දිග කලිසම්, කොට කළිසම්, හෝ වෙනත් විදේශීය ඇඳුම් ආයිත්තම් අංගම් සටනේ භාවිතා නොවේ.