අංගම් සටනේ ඇඳුම් ආයිත්තම් සම්ප්‍රදාය



අංගම් ශාස්ත්‍රය තුළ පමණක් නොව උඩරට නර්තනය, පහතරට නර්තනය වැනි මෙරට ශාස්ත්‍රීය කලාවන්ගේ ඉතිහාසය වසර දස දහස් ගණනක් ඈතට දිව යයි. උදාහරණයක් ලෙස දවුල නැමැති බෙර විශේෂයේ ඉතිහාසය මීට වසර 40000කට පෙර මේ රට බිහිවූ මන්නාරමේ රජකම් කළ මහාසම්මත මනු නැමති රජු පත් කර ගැනීමට යැවූ අණබෙරය වාදනය කෙරුණේ දවුල භාවිතයෙනි. එවන්වූ මහා පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අප සංස්කෘතිය වසර 2500ක ඉතිහාසයකට හිරකොට තැබීමට ඉන්දියානු හා යුරෝපීය බලවේගයන් ගත් උත්සාහය අද පුස්සක් වෙමින් පවතියි. කෙසේ වෙතත් කුවේණිය නැමති යක්ෂ ගෝත්‍රික නායිකාව කපු කටිමින් සිටිය බව සඳහන් වීමද අප ඇඳුම් ආයිත්තම් ශිල්පයේ කොතරම් ප්‍රාගුණ්‍ය මට්ටමක සිටියාදැයි කීමට දෙස් දෙයි. රජතුමාට රජ ඇඳුම් කට්ටල නිර්දේශිතව තිබූ අතර යුද්ධයට, උත්සවයකට, අධිකරණයට, රාජ්‍ය සභාවට ආදි විවිධ අවස්ථාවන්ට සාම්ප්‍රදායිකවම නිර්මාණය වූ ඇඳුම් කට්ටල රාශියක් තිබිණ. අංගම් සටනේදී භාවිතා වන ඇඳුම් ආයිත්තම් රාශියක් ඇති අතර අන්තිම වතාවට සන්නාහ කට්ටල නිර්මාණය වූයේ පෘතුගීසි යුගයේදී ය. ශාස්ත්‍රීට මට්ටමේදී අංගක්කරුවන් විවිධ ශ්‍රේණිගත කිරීම්වලට භාජනය වන අතර ඒ ඒ ශ්‍රේණියට සාම්ප්‍රදායික ඇඳුම් ඇත.



ඉහත පින්තූරයේ සඳහන් වන්නේ අංගම් ශාස්ත්‍රය සම්බන්ධ ලී කැටයම්, ගල් කැටයම් හා චිත්‍ර කිහිපයක් වන අතර මේවා කවරේදැයි සලකා බලමු.

1. ඇම්බැක්කේ දේවාලයේ ලී කැටමයක් - නුවර යුගයේ මුල් අවධිය
2. දළදා මාලිගාවේ ගල් කැටයමක් - නුවර යුගයේ අග භාගය
3. ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයමක් - නුවර යුගයේ මුල් අවධිය
4. දළදා මාලිගාවේ සිවිලිමේ ඇති චිත්‍රයකි - කීර්ති ශ්‍රී රාජසිංහ
5. හඟුරන්කෙත විශ්නු දේවාලයේ දේව අංගම් රෙද්ද - දෙවන රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලය

ඉහත නිර්මාණ කිහිපයම විවිධ ස්ථානවල විවිධ යුගවල නිර්මිත වූ ඒවා වුවත් ඒවායේ පොදු ලක්ෂණ ඇති බවට ඔබට පසක් වනු ඇත. හතරවන චිත්‍රය දකින යම් අයෙකුට එය කලිසමක් යයි බැලූ බැල්මට හැඟී යනු ඇත. නමුත් මේ රෙද්දක් භාවිතයෙන් අඳින ලද කචිචියක් වන අතර චිත්‍ර ශිල්පීය නිර්මිතයක් නිසා කලිසමක් ලෙසින් පෙනී යයි. මේ අතර සියලුම චිතවල ඇඳුම්වලට අමතරව ආයිත්තම්ද ඇති අතර ඒවායේ ද සමානකම් ඇත. මේ කිසිවක් අතර අද අංගම්පොර යයි කියා ගන්නා චෞරයින් භාවිතා කරන කොට කලිසම්, ඉන්දියානු නලුවන්ගේ ඇඳුම්, ද්‍රවිඩ වේට්ටි, නාටාමි ඇඳුම්, කම්බි බැනියම් හෝ ‘පප්පා‘ බැනියම්, මුද්‍රිත ටී සර්ට්, පාදවල එල්ලූ ගෙජ්ජි, කරාතේ සටන් ඇඳුම් හෝ වූෂූ සටන් ඇඳුම් දැක්වෙන්නේ නැත.

මෙම ඇඳුම් ආයිත්තම් අප රටට හා අප රටේ දේශගුණයට මෙන්ම අප සංස්කෘතියටද බද්ධ වූ ඒවා වන අතර ඒ තුළ කොට කලිසම්, දිග කලිසම් හෝ මසා නිමකළ සරුවාල් වැනි දේ තිබිය නොහැකි ය. හෙළ අංගක්කරුවන් භාවිතා කළ ඇඳුම්වල එක් විශේෂත්වයක් වන්නේ පහල කොටස බොහෝ විට නිම නොකළ රෙද්දකින් සකස් කර ගැනීමයි. එහිදී නිර්දේශිත දිගක්, පළලක් හා පාටක් ඇති අතර කපු රෙදි භාවිතා වීමද විශේෂත්වයකි. යම් යම් විශේෂ අවස්ථාවල හැරෙන්නට පිරිමි සටන් කරුවන්ගේ උඩුකය නිරුවත් වන අතර කාන්තා සටන්කාරියන්ගේ හැට්ටය දේශීය මුහුණුවරයක් ගනී. පිරිමි සටන් කරුවන්ද උඩුකයට හැට්ටයක් අඳින අවස්ථා සුලභ නොවුවද විරළ නොවේ. එක් උදාහරණයක් වන්නේ සන්නාහ කට්ටලයයි. අද උඩරට නැටුටුවා අඳිනුයේ එම සන්නාහ කට්ටලයේ විකාශිත ඇඳුමකි. කෙසේ වෙතත් නැටුම්වලදී හා සටන් වලදී ඇඳි ඇඳුම් අතර තාක්ෂණික වෙනසක් ඇත. කෙසේ වෙතත් සාම්ප්‍රදායික අංගම් ඇඳුම් පිළිබඳව වැඩිමනක් විස්තර පැවසීමට හැකි මුත් අද බිහිවී ඇති අංගම් සොරුන් විසින් ඒවා හෙට දින පිටපත් කරන බැවින් එය අමනෝඤ ක්‍රියාවක් වනු ඇත.


කෙසේ වෙතත් පිටපත් කිරීම වූ කලී පුදුම වැඩකි. ලේසිය. පහසුය. මොලේ වෙහෙසවමින් කාලය නාස්ති කරන්නට වුවමනා නැත. පරම්පරාවක්, සම්ප්‍රදායක් හෝ උරුමයක් තිබෙන්නට අවශ්‍ය නැත. ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකි තරමටම ක්ෂණිකය. අපි පිටපත් කිරීම පටන් ගන්නේ ඉස්කෝලේ යන කාලයේදීමය. අනෙකා මොළය වෙහෙසා අමාරුවෙන් ලබාගන්නා උත්තරය අපි සැණෙකින් පිටපත් කර ගැනීමට හුරු වන්නෙමු. මෙය මේ සමාජයේ අස්සක් මුල්ලක් නෑර ගමන් කොට ඇත්තේ කොතරම් ද යත්  භාරතයේ මහා සංගීතඥයින්, සප්තස්වරයේ කිමීදී නිර්මාණය කරන්නාවූ මනමෝහනීය නාද රටා වලට අපි නින්දිත ලෙස සිංහල වචන ඔබන්නෙමු. මේවායින් මුසපත් වන, අගක් මුලක් නොදන්නා රසිකයා නිර්මාණකරුට දේවත්වයෙන් සළකන්ට පටන් ගනියි. මහජනයා  ‘මෝඩයා’ කිරීම ඉතාමත් පහසු කටයුත්තක් වී ඇත්තේ සමාජය, සමාජය ගැනම ඇති අනවබෝධය නිසාවෙනි.